Hot Posts

දුම්රිය අනතුරක්

 


හලාවත සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් රාගම දුම්රිය ස්ථානය අසලදී පාලන සංඥා දෝෂයක් හේතුවෙන් ගැටලු‍කාරී තත්ත්වයකට මුහුණ පා තිබුණා.


දුම්රිය නියාමක සංගමය සදහන් කළේ, අදාළ දුම්රිය සංඥා දෝෂ වැළැක්විමට බලධාරීන් කඩිනමින් පියවර නොගතහොත් ඉදිරියේදී දැවැන්ත දුම්රිය අනතුරක් සිදුවීමේ දැඩි අවදානමක් පවතින බවයි.

මෙරට ක්‍රියාත්මක දුම්රිය ආලෝක වර්ණ සංඥා පද්ධතිය 1962 වසරේදී හඳුන්වා දී ඇති අතර එය ඉතා සරල ක්‍රමවේදයක් හරහා ක්‍රියාත්මක වන්නක්.

රථවාහන හැසිරවීම සඳහා පිහිටුවා ඇති වර්ණ සංඥාවලින් ලබාදෙන විධාන වලට වඩා දුම්රිය වර්ණ සංඥා මගින් ලබා දෙන විධාන වෙනස් හා සංකීර්ණ වනවා.

මෙරට දුම්රිය වර්ණ සංඥා ප්‍රධාන විධාන කිහිපයක් ඔස්සේ ක්‍රියාත්මක කර අතර ඔටෝ මැටික් බ්ල්ලොක් සිග්නල් වර්ණ සංඥා කණු මෙරට දුම්රිය සංඥා අතර වැඩි වශයෙන් දැක ගත හැකියි.

මෙම සියලු‍ වර්ණ සංඥා පද්ධති මරදාන දුම්රිය ස්ථානයේ පිහිටා ඇති මධ්‍යම දුම්රිය පාලක මැදිරියෙන් හසුරුවනු ලබන අතර කොළඹින් පිට ප්‍රදේශවල දුම්රිය වර්ණ සංඥා මහනුවර, නාවලපිටිය හා අනුරාධපුර උප දුම්රිය කාර්යාල මගින් හසුරුවනු ලබනවා.

ප්‍රධාන දුම්රිය මාර්ගයේ වර්ණ සංඥා කණු දෙකක් අතර දුර අඩි 2000ක් වන අතර සංඥා කණු දෙකක් අතර පරාසය “බ්ලොක්” එකක් යනුවෙන් හඳුන්වනවා.

සෑම “බ්ලොක්” එකක් ආරම්භ වන ස්ථානයේ හා අවසන් වන ස්ථානයේ දුම්රිය වර්ණ සංඥා කණු ස්ථාපිත කර ඇති අතර එය රතු, කොළ, සහ කහ ලෙස ප්‍රධාන සංඥා විධානයන් තුනකින් සමන්විතයි.

දුම්රිය වර්ණ සංඥාවක රතු එළිය දැල්වුවහොත් ඉදිරියට දුම්රිය ධාවනය නොකළ යුතු අතර කහ එළිය මගින් ඉදිරි කොට්ඨාස දෙකෙන් එකක් පමණක් නිරවුල්ව ඇති බවත් එම නිරවුල් කොට්ඨාසයට පමණක් දුම්රිය ඇතුළු කළ හැකි බවටත් විධාන ලබා දෙනවා.

කොළ එළිය මගින් දුම්රිය මාර්ගයේ බාධාවකින් තොරව ගමන් කළ හැකි බවට වන විධානය දුම්රිය රියැදුරන්ට සංඥා කරනවා.

ඒ අනුව යම් දුම්රියක්, වර්ණ සංඥා කණුවක් පසු කළ විගස එම සංඥාව අනිවාර්යයෙන් රතු පැහැ විය යුතු අතර එමගින් පිටුපසින් පැමිණෙන දුම්රියකට ඉදිරියේ දුම්රියක් ගමන් කරන බවට වු විධානය ලබා දෙනවා.

නමුත් ඊයේ පෙරවරු 6.30 ට හලාවතින් ගමන් ආරම්භ කළ අංක 810 දරණ දුම්රිය රාගම දුම්රිය ස්ථානයට පැමිණීමේදී 98 වැනි දුම්රිය පාලන සංඥාව පසු කළ පසු එය අවදානම් සංඥාව හෙවත් රතු එළියට මාරු විය යුතු වුවද එහි කහ සංඥාව දිගටම ක්‍රියාත්මක වී තිබෙනවා.

ඉන් දන්වා ඇත්තේ ඉදිරියෙන් දුම්රියක් නොමැති බවත් එම කොට්ඨාසයට තවත් දුම්රියකට ඇතුලු‍ විය හැකි බවයි.

කෙසේ වෙතත් අදාළ දුම්රියේ නියාමකවරයා විසින් දුම්රිය නතර කර අදාළ දෝෂය සම්බන්ධයෙන් දුම්රිය පාලක මැදිරිය දැනුවත් කර තිබෙනවා.

යම් හෙයකින් අදාළ දුම්රිය සංඥාවේ දෝෂය පිළිබඳව දුම්රිය නියාමකවරයාට නිරීක්ෂණය නොවුණානම් පිටුපසින් පැමිණෙන දුම්රිය තම දුම්රියේ ගැටීමෙන් අනතුරක් වීමට ඉඩ තිබූ බවයි අදාල දුම්රියේ ප්‍රධාන නියාමක යූ.එච්. ආරියරත්න කියා සිටියේ.

මේ අතර දුම්රිය වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය මත දුම්රිය ධාවනය කිරීම දැඩි අවදානම් සහගත තත්ත්වයක් බවයි.

Post a Comment

0 Comments