
ලබන 30 වනදා සිට විශේෂ මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් පවතින බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.
මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ ඩෙංගු ආසාදිතයන් 27,932ක් සහ ඩෙංගු මරණ 16ක් වාර්තා වෙනවා.
වසරේ ආරම්භයේ සිට මේ දක්වා මදුරුවන් බෝ විය හැකි අවදානම් පරිශ්‍ර 179,026ක් පරීක්ෂාවට ලක් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කළා.
නිවාස 167,081ක්, පාසල් 317ක්, සෙසු අධ්‍යාපන ආයතන 386ක්, රජයේ ආයතන 927ක්, පෞද්ගලික ආයතන 6935ක්, කර්මාන්ත ශාලා පරිශ්‍ර 271ක්, ඉදිකිරීම් ස්ථාන 930ක්, ආගමික ස්ථාන 657ක් සහ පොදු ස්ථාන 320ක් මෙසේ පරීක්ෂාවට ලක්ව තිබේ.
මදුරුවන් බෝවීමේ අවදානමක් ඇති බවට පරීක්ෂාවට ලක් කළ නිවාස 167,081 අතරින් සියයට 23ක මදුරුවන් බෝ විය හැකි ස්ථාන හඳුනාගත් බවත්, පාසල් 317න් 168ක්, අනෙකුත් අධ්‍යාපන ආයතන 386න් සියයට 28ක්, ආගමික ස්ථාන 657න් සියයට 40ක්, ඉදිකිරීම් හා කර්මාන්තශාලා ආශ්‍රිතව සියයට 50ක මදුරුවන් බෝ විය හැකි ස්ථාන හඳුනාගෙන තිබෙන බව ද ඔහු සදහන් කරනවා.
පරීක්ෂාවට ලක් කළ පරිශ්‍ර අතරින් නිවාස සියයට 4.1ක, පාසල් සියයට 17.5ක, රජයේ පරිශ්‍ර 10.1ක, කර්මාන්තශාලා හා ඉදිකිරීම් ආයතනවල සියයට 15ක, ආගමික ස්ථාන සියයට 13ක මදුරු කීටයන් සිටි බවට හඳුනාගෙන තිබේ.
එබැවින් මේ මස 30 වැනිදා සිට ජූලි මස 05 වැනිදා දක්වා යෙදී ඇති ජාතික මදුරු මර්දන සතිය තුළදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 111ක් මුල් කර ගනිමින් වැඩසටහන් ක්‍රියාත්මක කරන බව යි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.
මෙම සතිය තුළදී දිනකට කණ්ඩායම් 1100ක් බැගින් පරීක්ෂාවට යොදවන බවත්, එක් කණ්ඩායමක සෞඛ්‍ය නිලධාරියකු, පොලිස් නිලධාරියකු, ත්‍රිවිධ හමුදා නිලධාරියකු ලෙස නිලධාරීන් තිදෙනකුගෙන් යුක්ත බවත් ඔහු සදහන් කළා.
මෙම මදුරු මර්දන සතිය අදියර දෙකකින් ක්‍රියාත්මක කරනු ලබයි. පළමු අදියර යටතේ මේ මස 30 වැනිදා සිට ජූලි 02 වැනිදා දක්වා කොළඹ, රත්නපුර, ත්‍රිකුණාමලය, මාතලේ, බදුල්ල, මොනරාගල, ගාල්ල, කල්මුණේ, කළුතර දිස්ත්‍රික්කයන්හි මර්දන වැඩසටහන් ක්‍රියාවට නංවනු ලැබේ.
මහනුවර, කුරුණෑගල, ගම්පහ, කෑගල්ල, යාපනය, මඩකලපුව, මාතර දිස්ත්‍රික්කයන්හි සහ කොළඹ මහනගර සභා සීමාව තුළ ජූලි මස 02 වැනිදා සිට 05 වැනිදා දක්වා කාලය තුළ දෙවැනි අදියර ලෙසත් මෙම මර්දන වැඩසටහන් ක්‍රියාවට නංවයි.
සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, ස්වේච්ඡා සංවිධාන, ජනතාව යනාදි සියලුදෙනා එක්ව මෙම මර්දන වැඩසටහන් ක්‍රියාවට නංවන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
සතියකට වරක්වත් ජනතාව තමා ජීවත් වන අවට පරිසරය මදුරුවන්ට බෝ විය නොහැකි ලෙස පිරිසුදුව පවත්වාගෙන යන්නේ නම් ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වාර්තා වීම අවම කරගත හැකි බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
0 Comments