Hot Posts

කාලගුනය කැලබෙයි!!!

 සක්‍රියව පවතින නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

 
එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑලිය, මහනුවර ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් සියයට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි. 
 
එසේම ගතවූ පැය 24 ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය රත්නපුර නිරිඇල්ල ප්‍රදේශයෙන් වාර්තා වන අතර එම අගය මිලිමීටර් 116. 5 ක්. 
 
මේ අතර නිරිත දිග මෝස්ම් තත්ත්වය හේතුවෙන් උතුර, උතුර මැද, වයඹ, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල මෙන්ම ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැයට කිලෝමීටර් 50 ත් 60 ක පමණ තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ නිවේදනයේ සඳහන්. 
 
එසේම මධ්‍යම කඳුකරයේ ස්ථාන රැසකට මේවනවිට වැසි සහ තද සුළං තත්ත්වයක් පවතින බව අප වාර්තාකරු සඳහන් කළා. 
 
මෙම තත්ත්වයත් සමග ස්ථාන රැසක විදුලිය බිඳ වැටීම් ද වාර්තා වන අතර සැපයුම යථාවත් කිරිම සඳහා විදුලිබල මණ්ඩලය කටයුතු කරමින් සිටිනවා. 
 
නුවරඑලිය දිස්ත්‍රික්කයේ පවතින අධික සීතල කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනජීවිතයට බාධා එල්ලවී තිබෙනවා. 
 
පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ තේ වගාවට මෙන්ම එළවලු වගාවට ද දැඩි බලපෑම් එල්ල විය හැකි බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ. 
 
එසේම, ඉංගිරිය බෝධිනාගල ප්‍රදේශයේ ඊයේ හමාගිය දැඩි සුළං තත්ත්වය හේතුවෙන් නිවාස කිහිපයකට හානි සිදුව තිබෙනවා. එසේම විදුලි සැපයුමට ද බාධා පැමිණ තිබූ අතර මේ වනවිට එම තත්ත්වය යථා තත්ත්වයට පත්කිරීමටයි විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇත්තේ. 
 


මේ අතර, දිවයිනට බලපෑ වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළගොස් තිබෙනවා. 
 
ඒ අනුව, කලුගග රත්නපුර ප්‍රදේශයෙන්, මගුරු ගග මගුර ප්‍රදේශයෙන් සහ කුඩා ගග මිල්ලකන්ද ප්‍රදේශයෙන් මෙලෙස ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 
 
මේ අතර දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතකට නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. 
 
ඒ අනුව කොළඹ, ගාල්ල, කලුතර, මහනුවර, කෑගල්ල, නුවරඑලිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය කොට්ඨාස කිහිපයකට මෙලෙස අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

Post a Comment

0 Comments