Hot Posts

අවසන් වසරේ දොස්තර මහත්තයට මොකද උනේ

 

"ගෙදර බල්ලා මැරුණට පස්සේ පුතා හරිම දුකෙන් හිටියා...සරසවියට යන්නේ නැත්තේ ඇයි කියලා ඇහුවාම මට මේ සියල්ල එපා වෙලා කියලා කිව්වා"- වෛද්‍ය සනත් ගෞතමදාස පියා සාක්කි දෙමින්කියයි...


"ආසිරි පුතා අන්තිමට ජුලි 14 වැනිදා ගෙදර ආවා. ඇවිල්ලා වෛද්‍ය පීඨයට යන්නේ නැතිව ගෙදර හිටියා. පස්සේ මම ඇහුවා ඇයි පුතේ විශ්ව විද්‍යාලයට යන්නේ නැත්තේ කියලා. මට මේ දේවල් එපා වෙලා තියෙන්නේ කියලා කිව්වා " යැයි ඇද ඇතිරිල්ලකින් ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගත් කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ අවසන් අදියරේ ඉ‍ගෙනුම ලබමින් සිටි ගෞතමදාසගේ ආසිරි ශානක කුමාර ගෞතමදාස (24) වෛද්‍ය සිසුවාගේ හදිසි මරණ පරීක්ෂණයේදී ඔහුගේ පියා වන වෛද්‍ය ගෞතමදාසගේ සනත් ගෞතමදාස (56) මහතා පැවසීය.

මෙම වෛද්‍ය සිසුවා ඉකුත් (02) වැනිදා පෙරවරුවේ සිය නිවසේ ඉහළ මාලයේ පිහිටි කාමරයක ජනේලයක ග්‍රිල් එකක ඇද ඇතිරිල්ලකින් ගෙලවැලලාගෙන සිය දිවි හානි කරගෙන තිබුණි.

මෙම සිසුවාගේ හදිසි මරණ පරීක්ෂණය පෙරේදා 03 වැනිදා පෙරවරුවේ කෑගල්ල හදිසි මරණ පරීක්ෂක රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය ඉදිරියේදී කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ දී සිදු කෙරිණ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිය දිවි හානි කර ගත් වෛද්‍ය සිසුවාගේ පියා වන වෛද්‍ය ගෞතමදාසගේ සනත් ගෞතමදාස (අවු 56) මහතා,

''මම කෑගල්ල මහ රෝහලේ 16 වාට්ටුවේ වෛද්‍යවරයකු ⁣ලෙස සේවය කරනවා. බිරිදත් වෛද්‍යවරියක්. අපට දරුවන් දෙන්නයි. මිය ගොස් සිටින්නේ වැඩිමහල් පිරිමි දරුවා. දෙවැනියා දුවයි දුවගේ වයස අවුරුදු 23 යි. දුවත් වෛද්‍ය ශිෂ්‍යයාවක්.

පුතා කෑගලු විද්‍යාලයේ 5 ශ්‍රේණිය දක්වා ඉගෙන ගත්තා. පස්සේ 6 ශ්‍රේණියේ සිට රඹුක්කන පින්නවල ජාතික පාසලට ගියා. සමාන්‍ය පෙළ හොදට සමත් වෙලා පස්සේ උසස් පෙළ ජීව විද්‍යා විෂයෙන් ඉගන ගත්තා. 2020 වර්ෂයේ පැවැති අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටියා. උසස් පෙළ විභාගය සමත් වෙලා 2021 වර්ෂයේ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වුණා. සෑම සිකුරාදාවකම පුතා ගෙදර එනවා.

සදුදා අලුයම ආපසු කොළඹ විශ්ව විද්‍යාලයට යනවා. කොළඹ විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ අවසන් දින කිහිපය ඉගෙනුම ලබමින් සිටියා. පුතා අන්තිමට ජුලි 14 වැනිදා ගෙදර ආවා. ඇවිල්ලා විශ්ව විද්‍යාලයට යන්නේ නැතිව ගෙදර හිටියා. පස්සේ මම ඇහුවා ඇයි පුතේ විශ්ව විද්‍යාලයට යන්නේ නැත්තේ කියලා.

මට මේවා එපා වෙලා තියෙන්නේ කියලා කිව්වා. තව ටික කාලයක් නේද යන්න තියෙන්නේ ඒ ටික යන්න කියලා මම කිව්වා. කොහොම හරි පුතා ⁣කොළඹ විශ්ව විද්‍යාලයට ගියේ නෑ. වෙනදාට වැඩිය පුතාගේ හැසිරීමේ වෙනසක් පසු ගිය දින කිහිපය තුළ තිබුණා. වැඩිය කතා බහක් නොමැති සිටියා. ඒ වුණත් එයාගේ වැඩ කටයුතු එයා කර ගත්තා. පස්සේ මම ප්‍රතිකාර ගන්න වෛද්‍යවරයෙක් හමු වෙන්න යමු කියලා පුතාට කිව්වා. බෑ කියලා කිව්වා. පස්සේ මම මානසික රෝග වෛද්‍යවරියක් හමු වෙලා පුතා ගැන කියලා බෙහෙත් ගෙනත් දුන්නා. පුතා බෙහෙත් බිව්වේ නෑ. අපේ ගෙදර බල්ලෙක් හැදුවා.

ඒ බල්ලාට පුතයි දුවයි හරිම ආදරේයි. බල්ලා මීට මාස එක හමාරකට පමණ ඉහතදී මිය ගියා. බල්ලා මිය ගියාට පස්සේ පුතා හරිම දුකෙන් වේදනාවෙන් හිටියා. පස්සේ මානසික රෝග වෛද්‍යවරිය කිව්වා මහනුවර පෞද්ගලික රෝහලක හොද මානසික රෝග පිළිබඳ වෛද්‍යවරයෙක් ඉනනවා ඒ වෛද්‍යවරයාට පෙන්වන්න කියලා කිව්වා. පස්සේ ඒ පෞද්ගලික වෛද්‍ය ආයතනයට කතා කරලා 02 වැනිදා සවස පුතා එක්කරගෙන එන්න කියලා කිව්වා.

02 වැනිදා මම බිරිදයි පුතයි දුවයි හතර දෙනාම ගෙදර හිටියා. උදේ පුතා මම සමග කෑම කෑවා. කිසිම වෙනසක් මම පුතාගේ දැක්කා නෑ. හොදට හිටියා. පස්සේ මම 8.30 ට පමණ කෑගල්ල මහ රෝහලේ රාජකාරි කරන්න ගියා. වෛද්‍ය බිරිදයි පුතයි දුවයි ගෙදර හිටියා. පුතා ඉන්නේ නිවසේ ඉහළ මාලයේ කාමරයක. උදේ 9.45 ට පමණ බිරිද දුරකතනයෙන් කතා කරලා කිව්වා ඉක්මනට ගෙදර එන්න කියලා. පස්සේ මම ඉක්මනට ගෙදර ගියා.

ගිහිල්ලා පුතා හිටපු කාමරයට යන්න දොර අරින්න හැදුවා. පුතා ඇතුලෙන් වහලා තිබුණා. පස්සේ මම ඉනිමක් ගෙනල්ලා ජනේලයක් ළග තියලා ජනේලයෙන් බැලුවා. කාමරයේ මොකවක් ඒ ජනේලයෙන් පෙනුනේ නෑ. පස්සේ ඒ කාමරයේ එහා පැත්තේ තිබුණු ජනේලය ළගට ඉනිමග අරන් ගිහිල්ලා තියලා බැලුවා. එතකොට පුතා ඉදගෙන ඉන්නවා වගේ දැක්කා.

පස්සේ මම යකඩ ඉන්න ගෙනල්ලා දොර කඩලා ඇතුළතට ගිහිල්ලා බැලුවා. පස්සේ පුතා ඇද ඇතිරිල්ලකින් ජනේලයේ ග්‍රිල් එකක ගෙලවැලලාගෙන සිටියා. පස්සේ මම පිහියකින් ඇද ඇතිරිල්ල කපාගෙන මගේ වාහනයෙන් කෑගල්ල මහ රෝහලට ගෙනවා. පස්සේ මට දැන ගන්න ලැබුණා. පුතා මිය ගිහිල්ලා තියෙනවා කියලා.''මිය වෛද්‍ය සිසුවාගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ජී,සී,පී මංගල මහතා විසින් සිදු කෙරිණ.

නිවසේ කාමරක ඇද ඇතිරිල්ලකින් ගෙලවැලලාගෙන සිදු කර ගත් සිය දිවි හානි කර ගැනීමක් බවට කෑගල්ල හදිසි මරණ පරීක්ෂක රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය තීන්දු කළාය.

කෑගල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම මහතාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශයේ උප පොලිස් පරීක්ෂක සේනානායක නිලධාරියා විමර්ශන කටයුතු සිදු කෙරිණ.

මිය ගිය වෛද්‍ය සිසුවාගේ ආගමික කටයුතු 04 වැනිදා නිවසේ දී සිදු කෙරිණ. එහිදී මූලික ආගමික වතාවත් සිදු කරනු ලැබුවේ කෑගල්ල හෙට්ටිමුල්ල ඓතිහාසික මාකූරාව රජමහා විහාරාධිපති ඇහැලියගොඩ නැදුරණ චිත්‍රාඇල්ල ශ්‍රීපාද භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය ගින්නලියේ රතනසාර ස්වාමීන් වහන්සේ විසිනි.

පිටිහුම ශෛලබිම්බාරාමාධිපති කෑගල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි පූජ්‍ය හියාරාපිටියේ නනන්දරතන ස්වාමීන් වහන්සේ අනුශාසනාව ද එහිදී සිදු කෙරිණ. එහිදී කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන වෛද්‍ය ශිෂ්‍යයෙක් හඩා වැළපෙමින් ගුණ කථනයක් කරමින් කියා සිටියේ ආසිරි ශානක මිතුරා කියන ඕනෑම වැඩක් විශ්ව විද්‍යාලයේ දී පසුබට නොවී ඉදිරිපත් වෙලා සිදු කරන බවත් ඔහුගේ පෞද්ගලික කිසිම තොරතුරක් සෙසු⁣ වෛද්‍ය මිතුරන් සමග නොකියා ඇති බවත්ය.

මිය ගිය වෛද්‍ය සිසුවා අවසන් කටයුතු 04 වැනිදා සවස කෑගල්ල නගර සභා පොදු සුසාන භූමියේ දී සිදු කෙරිණ.
උපුටා ගැනීමකි.
( විශාදය ඇතිනම් මානසික වෛද්‍යවරයෙකුගෙන් ලවා⁣ බෙහෙත් ගත යුතුය)

Post a Comment

0 Comments