Hot Posts

රාජ්‍ය සේවකයොන්ට කල්ලමරේ

 

මේ සුබ ආරංචිය  රාජ්‍යය සේවයේ ඉන්න ඔයාට...

භෞතික සහ ආධ්‍යාත්මික වශයෙන් නටබුන් වූ රාජ්‍යය පිළිබඳ ස්වයං විවේචනයක් කරමින් නූතන රාජ්‍ය සේවයක් ගොඩනැඟීමට ලබන වසරේ අයවැය ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

නූතන සංස්කෘතියකට රාජ්‍ය සේවය ගෙන යා යුතු බවත් එය ආරක්ෂා කිරීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

නටබුන් වූ රාජ්‍ය සේවය නවීකරණය කිරීම සඳහා එහි භෞතික පහසුකම් වැඩිදියුණු කිරීමට ලබන වසරේ අයවැයේදී ප්‍රමුඛ අවධානය යොමු කර ඇති බවද ජනාධිපතිවරයා පවසනවා.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අරලියගහ මන්දිරයේදී අද (05) පැවති ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ (SASA) 41 වන වාර්ෂික සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින්.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 41 වන වාර්ෂික සමුළුව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්, අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්නගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය රාජ්‍ය සේවයේ ප්‍රමුඛතම දීප ව්‍යාප්ත සේවාව වන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ගෙන් සැදුම් ලත් වෘත්තීය සංවිධානයයි.

මෙවර එහි වාර්ෂික සමුළුව වසර 05කට පසුව පැවැත්වීම විශේෂත්වයක්.

රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම සඳහා පසුගිය අයවැයෙන් යෝජිත වැටුප් වැඩිවීම ඉදිරියට ගෙන යමින් ලබන වසරේ වැටුප් වැඩි කිරීම සඳහා රුපියල් කෝටි 11,000ක් වෙන් කරන බවත් 2027 වසර සඳහා රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සඳහා රුපියල් කෝටි 11,000ක් වෙන් කිරීමට ආණ්ඩුව සැලසුම් කොට ඇති බවද ජනපතිවරයා කියා සිටියා.

මේ අනූව ආකර්ෂණීය රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට දේශපාලන අධිකාරිය ලෙස ආණ්ඩුව කැප වී සිටින බැවින් ඊට රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ සහාය අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

රාජ්‍ය සේවයේ සුළුතරයක් අතින් තමන්ට පැවරී ඇති වගකීම ගනුදෙනුවක් බවට පත් වී ඇති බවත් එසේ සමාජ වටිනාකමෙන් ඔබ්බට ගිය මූල්‍ය වටිනාකම්වලට මුල් තැන දුන් රාජ්‍ය සේවය එම තත්ත්වයෙන් මුදවාගත යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

එමෙන්ම රාජ්‍ය නිලධාරීන්ට පුරවැසියා කෙරෙහි ඇති වගකීම චක්‍රලේඛයකින් හෝ අණපනත්වලින් බැඳ තැබිය නොහැකි බව පෙන්වා දුන් ජනපතිවරයා සමාජ වටිනාකම් හා සමාජ හර පද්ධතීන්වලට මුල් තැන දෙන නිලධාරීන් බිහි විය යුතු බවද පැවසුවා.

තමන්ට ලැබී තිබෙන වගකීම අනෙකා තලා පෙළා දැමීමට නොව යහපත් රාජ්‍ය සේවයක් ගොඩනඟමින්, ජනතාවට ඉතා උසස් ජීවිතයක් ලබා දීම වෙනුවෙන් යෙදවීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බවයි ජනපතිවරයා පෙන්වා දුන්නේ.

රාජ්‍ය සේවය අද සංධිස්ථානයකට පැමිණ ඇති බවත් තවදුරටත් කාලයක් ගත කරමින් ඉදිරියට යා හැකි බවද එසේ නොමැති නම් අපගේ කාර්යභාරය පිළිබඳ ස්වයං ඇගැයීමකට ලක්කර පුරවැසියාගේ අවශ්‍යතාව මත කාර්යක්ෂම සේවාවක් ඉටු කිරීමට අවශ්‍ය මාර්ගය තෝරා ගැනීමට කාලය එළැඹ ඇති බව ජනාධිපතිවරයා කියා සිටියා.

Post a Comment

0 Comments