
එම වෛද්‍ය මධ්‍යස්ථානයේ සවි කර තිබූ ශක්තිමත් චුම්භක ක්ෂේත්‍රයක් (කාන්දම්) භාවිත කරන විවෘත එම්ආර්අයි ස්කෑන් යන්ත්‍රයක් අසලට රාත්තල් 20ක් පමණ බරැති ලෝහයෙන් තැනූ විශාල මාලයක් පැළැඳ ගිය 61 හැවිරිදි පුද්ගලයෙකු එම මාලයේ කාන්දම් බලයෙන් යන්ත්‍රය වෙත ඉබේම තල්ලු වී යාමෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විවෘත එම්ආර්අයි ස්කෑන් යන්ත්‍රයක රෝගියාට උඩින් මෙන්ම යටින් බලවත් චුම්භක ක්ෂේත්‍රයක් ක්‍රියාත්මක වෙනවා.
එබැවින් එවැනි යන්ත්‍රයක් අසලට යන විට පැළැඳ සිටින හෝ ශරීරයට සවි කර ඇති ලෝහමය ආභරණ හෝ උපාංග ඉවත් කරන ලෙස වෛද්‍ය උපදෙස් දී තිබේ.
එම උපදෙස් පිළිනොපැදීම නිසා මියගිය පුද්ගලයා මෙම අනතුරට මුහුණ පා ඇති බව වෛද්‍ය මධ්‍යස්ථානයේ බලධාරීන් පවසන්නේ.
ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයේ වෙස්ට්බරි ප්‍රදේශයේ නස්සවූ වෛද්‍ය මධ්‍යස්ථානයේ පිහිටි එම්ආර්අයි ස්කෑන් යන්ත්‍රය අසලට මියගිය 61 හැවිරිදි කීත් මැක්ඇලිස්ටර් ගොස් ඇත්තේ ඔහුගේ බිරිය එම යන්ත්‍රය හරහා ස්කෑන් පරීක්ෂණයකට ලක් වෙමින් සිටියදීය.
එවැනි පරීක්ෂණයක් පැවැත්වෙද්දී කිසිදු අයකුට එම ස්ථානයට ඇතුළුවීමට අවසර ලබා නොදෙන බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් නස්සවූ ප්‍රදේශයේ පොලිසිය පවසා ඇත.
ඔහු එම ස්ථානයට ගොස් ඇත්තේ එම්ආර්අයි යන්ත්‍රයේ හිඳවා සිටි සිය බිරියට නැගිටීමට උපකාර කිරීමට බව වාර්තා වේ.
එහෙත් එම පුද්ගලයා පැලඳ සිටි විශාල ලෝහයෙන් නිමවූ මාලය හේතුවෙන් එම්ආර්අයි යන්ත්‍රයේ චුම්භක බලයෙන් ඔහුව ස්කෑන් යන්ත්‍රය වෙත අද්දවා ගෙන ඇති අතර ඔහු යන්ත්‍රයේ ගැටී බිම වැටී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
එම පුද්ගලයා අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව වහාම රෝහල්ගත කිරීමට වෛද්‍ය කාර්ය මණ්ඩලය පියවර ගෙන ඇතත් ප්‍රතිකාර ලබමින් සිටියදී පසු දින ඔහු මියගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නස්සවූ ප්‍රදේශයේ පොලිසිය විමර්ශනයක් අරඹා තිබේ.
0 Comments